ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු වූ සරත් කෝන්ගහගේ සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ යන මහත්වරුන් මේ මස 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අලුත්කඩේ අතිරේක මහෙස්ත්‍රාත්වරයා අද (07) නියෝග කළේය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් මොවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය ලබා දී තිබේ.
මොවුන්ට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන චෝදනාව වන්නේ, රූපවාහිනී සංස්ථාවේ අනුමත සේවක සංඛ්‍යාවට බාහිරව පුද්ගලයින් 6 දෙනෙකු සේවයට බඳවා ගෙන ඔවුන්ව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට අනුයුක්ත කිරීමයි. මෙම ක්‍රියාව හරහා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට රුපියල් මිලියන 14.32ක මූල්‍ය පාඩුවක් සිදු කර ඇති බවට අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු වාර්තා කර ඇත.














