විද්‍යාව පදනම් කරගෙන කටයුතු කිරීම යනු සෞඛ්‍ය පද්ධතිය කෙරෙහි පවතින මහජන විශ්වාසය ශක්තිමත් කිරීම බවත්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පර්යේෂණ සහ නවෝත්පාදන සඳහා දිගුකාලීන ආයෝජනයක් අවශ්‍ය බවත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි. විද්‍යාව පෙරදැරි කරගෙන ලබන ජයග්‍රහණ විශේෂයෙන්ම අව වරප්‍රසාදිත ජනතාව වෙත සමීප කරවීම රජයේ ප්‍රධාන අභිලාෂය බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (07) නව දිල්ලියේ පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කාර්යාලයේ (WHO SEARO) පැවති “2026 ලෝක සෞඛ්‍ය දිනය” නිල සැමරුම් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. අමාත්‍යවරයා මෙම අවස්ථාවට එක්වූයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ වත්මන් සභාපතිවරයා වශයෙනි. මෙවර සැමරුම් උළෙල “Together for Health: Stand with Science” යන තේමාව යටතේ සංවිධානය කර තිබුණි.
මෙහිදී අමාත්‍යවරයා අතින් දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නව සංධිස්ථානයක් සනිටුහන් කරමින් ‘Banyan Framework for Health and Well-Being 2026–2028’ වැඩපිළිවෙළ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂවරයාගේ 2025 වාර්තාව නිල වශයෙන් එළිදැක්වීම ද සිදුකෙරිණි. ශ්‍රී ලංකාව දීර්ඝ කාලයක් තිස්සේ දත්ත මත පදනම්ව සෞඛ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කර ඇති බවත්, මාතෘ හා ළදරු සෞඛ්‍යයේ රෝග නිවාරණයේදී ශ්‍රී ලංකාව ලබා ඇති ජයග්‍රහණවල පදනම විද්‍යාව හා මහජන විශ්වාසය බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙම අවස්ථාවට ඉන්දීය සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යාංශයේ ලේකම් පුන්‍යා සලිලා ශ්‍රීවාස්තවා මහත්මිය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය භාර නිලධාරී වෛද්‍ය කැතරිනා බෝම් මහත්මිය ඇතුළු කලාපීය සෞඛ්‍ය නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කාර්යාලය, ලෝක ජනගහනයෙන් බිලියන දෙකකට ආසන්න පිරිසකගේ සෞඛ්‍ය සුබසාධනය වෙනුවෙන් පෙනී සිටින ප්‍රධානතම ආයතනයයි.














