ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාව, ආරක්ෂක අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) පාර්ලිමේන්තුවේදී රැස්විය. මෙහිදී උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ කරුණු සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
විශේෂයෙන්ම ආරක්ෂක අංශ භාරයේ පවතින උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ජනතාවගේ ඉඩම් නිදහස් කිරීමේදී මතු වන බාධා සහ මාර්ග කොටස් විවෘත කිරීමේ ඇති හැකියාව පිළිබඳව මෙහිදී අවධානය යොමු විය. 2025 වසරේදී පමණක් උතුරු පළාතේ පෞද්ගලික ඉඩම් අක්කර 1,777ක් පමණ නිදහස් කිරීමට පියවර ගෙන ඇති බවත්, එම ඉඩම් ක්‍රමානුකූලව ජනතාවට ලබාදීමට සැලසුම් කර ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ජාතික ආරක්ෂාවට අත්‍යවශ්‍ය නොවන ඉඩම් නිදහස් කර, ඒවා කර්මාන්ත හා ආර්ථික කටයුතු සඳහා උපයෝගී කර ගැනීම රජයේ අපේක්ෂාව බවද හෙතෙම සඳහන් කළේය.
මීට අමතරව, ආගමික සිද්ධස්ථානවලට අදාළ ඉඩම් ගැටලු සහ මෑතකදී ඇති වූ සුළි කුණාටු හේතුවෙන් හානියට පත් මාර්ග හා වාරිමාර්ග පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම මෙන්ම පීඩාවට පත් ගොවීන්ට වන්දි ලබාදීමේ ක්‍රියාවලිය පිළිබඳව ද ජනාධිපතිවරයා විමසා බැලීය. ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල ඉදිරි කටයුතු සහ ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ සුබසාධනය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වී තිබේ.
මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර යන මහත්වරුන් ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් ද, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.














