ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) විසින් යාපනය මැන්ඩතිව් දූපතේ ඉදිකිරීමට යෝජිත “යාපනය ක්‍රීඩා නගරය” (Jaffna Sports City) ව්‍යාපෘතියේ විනිවිදභාවය සහ නීත්‍යානුකූලභාවය ප්‍රශ්න කරමින් මෙරට ප්‍රමුඛතම ක්‍රිකට් සමාජයක් වන කොළඹ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය (Colts CC) අද (08) දැඩි විරෝධතාවක් පළ කර තිබේ. මෙම ව්‍යාපෘතියට අදාළ යෝජනාව සම්මත කිරීමට පෙර එහි මූල්‍ය රාමුව සහ පාලන ව්‍යුහය පිළිබඳව පැහැදිලි තොරතුරු අනාවරණය කරන ලෙස එම ක්‍රිකට් සමාජය ලිඛිතව ඉල්ලා ඇත.
කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ සභාපති නිශාන්ත රණතුංග මහතා විසින් ක්‍රිකට් ලේකම්වරයා වෙත යොමු කරන ලද ලිපියක් මගින් පෙන්වා දෙන්නේ, ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමටත් පෙර මෙවැනි වාණිජ ව්‍යාපෘතියකට අනුමැතිය ලබාගැනීමට උත්සාහ කිරීම නීති විරෝධී බවයි. මෙම ව්‍යාපෘතිය සඳහා වැයවන සම්පූර්ණ පිරිවැය, රජයේ ඉඩම් ලබාගැනීමේ ක්‍රියාවලිය සහ ක්‍රීඩා සමාජ සඳහා ලැබෙන මූල්‍ය ප්‍රතිපාදනවලට මෙයින් සිදුවන බලපෑම පිළිබඳව සාමාජික ක්‍රීඩා සමාජ දැනුවත් කර නොමැති බවට ද එහි චෝදනා කර තිබේ.
දේශීය ක්‍රිකට් ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන මෙම මතභේදාත්මක තත්ත්වය ක්‍රීඩා ලෝලීන්ගේ දැඩි අවධානයට ලක්ව ඇත. මෙම ව්‍යාපෘතියට ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ අනෙකුත් අදාළ රාජ්‍ය ආයතනවල නිසි අනුමැතිය ලැබී ඇති බව තහවුරු කරන ලේඛන ඉදිරිපත් කරන ලෙස ද කෝල්ට්ස් සමාජය අවධාරණය කර සිටියි.














