දිවයින පුරා ක්‍රියාත්මක වන ‘රටම එකට’ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ ඊයේ (07) දිනය තුළ පමණක් සැකකරුවන් 966 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි. මත්ද්‍රව්‍ය ජාලය සහමුලින්ම මැඩපැවැත්වීමේ අරමුණින් පොලිස්පතිවරයාගේ සෘජු උපදෙස් මත මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක වේ. අත්අඩංගුවට ගත් පිරිස අතරින් 11 දෙනෙකු මේ වන විට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන අතර, තවත් පුද්ගලයන් තිදෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.
ඊයේ දින සිදුකළ වැටලීම්වලදී හෙරොයින් සම්බන්ධ වැටලීම් 335ක් සහ අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් 384ක් වාර්තා වී ඇත. මීට අමතරව ගංජා ග්‍රෑම් 205ක් සමඟ තවත් වැටලීම් කිහිපයක් සිදුකර ඇති අතර මත්පෙති, කුෂ් සහ හෂීෂ් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය වර්ග සම්බන්ධයෙන් වැටලීම් 51ක් ක්‍රියාත්මක කර තිබේ. මෙම මෙහෙයුම මගින් මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීම සහ ඒ සඳහා පවතින ඉල්ලුම අවම කිරීම ප්‍රධාන වශයෙන් අපේක්ෂා කෙරේ.
මත්ද්‍රව්‍ය දුර්භාවිතය වැළැක්වීම, ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීම සහ මත්ද්‍රව්‍යවලට එරෙහිව ප්‍රජාව බලගැන්වීම වැනි බහුවිධ ප්‍රවේශයන් ඔස්සේ රට තුළ ව්‍යාප්තව පවතින මෙම ව්‍යසනය සහමුලින්ම මැඩපැවැත්වීම මෙම වැඩසටහනේ මූලික අරමුණයි. පොලිස්පතිවරයාගේ මඟපෙන්වීම යටතේ දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි මෙම දැවැන්ත මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය වැඩිදුරටත් අවධාරණය කරයි.














