ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් කුඹුරේ වැඩ කරමින් සිටි තම දෙමාපියන් කැඳවාගෙන ඒම සඳහා කුඩයක් රැගෙන ගිය 22 හැවිරිදි තරුණියක් අකුණුසැර වැදීමෙන් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම සංවේදී පුවත වාර්තා වන්නේ අනුරාධපුර, පදවිය ප්‍රදේශයෙනි.
වර්ෂාව ආරම්භ වීමත් සමඟ නිවසේ සිටි තරුණිය කුඩයක් ද රැගෙන කුඹුර දෙසට ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත. අකුණුසැර වැදීමෙන් බරපතල තුවාල ලැබූ ඇය වහාම පදවිය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වන විටත් ඇය මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි. වයස අවුරුදු 22ක් වූ ඇය ප්‍රදේශයේ ඉතා ජනප්‍රිය තරුණියක වන අතර ඇයගේ අකල් මරණය හේතුවෙන් මුළු පදවිය ප්‍රදේශයම ශෝකයට පත්ව තිබේ.
පවතින වැසි සහිත කාලගුණයත් සමඟ අකුණු අනතුරු පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. විශේෂයෙන්ම ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවල එළිමහනේ රැඳී සිටීමෙන් සහ කුඩ වැනි ලෝහමය උපාංග භාවිතයෙන් වැළකී සිටීම ජීවිත ආරක්ෂාවට අත්‍යවශ්‍ය බව බලධාරීහු වැඩිදුරටත් මතක් කර දෙති.














