පවතින නව සටන් විරාම ගිවිසුම යටතේ හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා ගමන් කිරීමට අවසර දෙනු ලබන නෞකා සංඛ්‍යාව දිනකට 15ක් දක්වා සීමා කිරීමට ඉරාන බලධාරීන් තීරණය කර ඇති බව ඉරාන ඉහළ පෙළේ ආරංචි මාර්ග උපුටා දක්වමින් රුසියාවේ ‘ටාස්’ (Tass) පුවත් සේවය වාර්තා කරයි. මෙය සාමාන්‍යයෙන් එම ජල මාර්ගය හරහා දිනකට ගමන් කරන නෞකා සංඛ්‍යාවට වඩා බෙහෙවින් අඩු අගයකි.
මෙම සීමා පැනවීමත් සමඟ ගෝලීය බලශක්ති සැපයුමට සහ නාවික වෙළඳාමට දැඩි බලපෑම් එල්ල වනු ඇතැයි ආර්ථික විචාරකයෝ අනතුරු අඟවති. විශේෂයෙන්ම බොරතෙල් ප්‍රවාහනය කරන නෞකා සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන බව ඉරානය ප්‍රකාශ කර ඇතත්, එක් එක් නෞකාව සඳහා පරීක්ෂා කිරීමේ ක්‍රියාවලියක් සහ විශේෂ අවසර පත්‍රයක් අවශ්‍ය වන බව ද සඳහන් වේ. ඉරානයේ මෙම තීරණය ඇමරිකාව ප්‍රමුඛ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ පවතින සාකච්ඡා සඳහා බලපෑම් කිරීමට යොදා ගන්නා දේශපාලන මෙවලමක් ලෙස ද සැලකේ. හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය තමන් සතු බව පෙන්වීමට ඉරානය දරන මෙම උත්සාහය නිසා ඉදිරි දිනවලදී ලෝක වෙළඳපොළේ තෙල් මිල තවදුරටත් ඉහළ යාමට ඉඩ ඇති බව වාර්තා වේ.
මුලාශ්‍රය – Tass / Reuters














