මීට වසර 15කට පෙර සෝමාලියාවේ අල්-ෂබාබ් (al Shabaab) සටන්කාමීන් සමඟ එක්ව පුහුණුව ලබා සටන් වැදුණු බවට චෝදනා ලැබූ 43 හැවිරිදි ජර්මේන් ග්‍රාන්ට් (Jermaine Grant) නැමැති බ්‍රිතාන්‍ය ජාතිකයෙකු අද (09) ලන්ඩන් අධිකරණය හමුවට පමුණුවන ලදී. 2007 සහ 2010 අතර කාලය තුළ සෝමාලියාවේ කිස්මායු හි පිහිටි පුහුණු කඳවුරුවල පුහුණුව ලැබීම ඇතුළු ත්‍රස්තවාදී චෝදනා හයක් ඔහුට එරෙහිව එල්ල වී තිබේ.
අධිකරණයේදී කරුණු දැක්වූ පැමිණිල්ල කියා සිටියේ ඔහු ප්ලැටූන් නායකයෙකු ලෙස කටයුතු කරමින් සෝමාලියාවේ සටන් කිහිපයකට සෘජුවම සහභාගී වී ඇති බවයි. “කරන් සටන” (Battle of Karan) අතරතුර ඒ.කේ. 47 ගිනි අවියක් ළඟ තබා ගැනීම සහ ත්‍රස්තවාදී කණ්ඩායමක් මෙහෙයවීම පිළිබඳව ද ඔහුට චෝදනා එල්ල වී ඇත. ලන්ඩන් ප්‍රති-ත්‍රස්ත පොලිසිය සඳහන් කළේ මෙය දීර්ඝ කාලීන විමර්ශනයක ප්‍රතිඵලයක් බවත්, ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ සැකකරුවන් ලෝකයේ කොතැනක සිටියත් ඔවුන් නීතිය හමුවට පැමිණවීමට කටයුතු කරන බවත්ය. සැකකරු ලබන සතිය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.














