පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට වසර 7ක් ගතවී ඇතත්, එහි මහමොළකරුවන් මෙතෙක් අත්අඩංගුවට නොගැනීම පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (09) පාර්ලිමේන්තුවේදී සිය දැඩි කනගාටුව පළ කළේය. දේශපාලන වාසි තකා සිදුකරන මඩගැසීම්වලින් තොරව, ජාත්‍යන්තර ආරක්ෂක සංවිධානවල ද සහය ඇතිව විනිවිදභාවයකින් යුතු පරීක්ෂණයක් පවත්වා වින්දිතයන්ට සාධාරණය ඉටුකළ යුතු බව ඔහු අවධාරණය කළේය.
ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් සිදුකර ඇති සියලු පරීක්ෂණ වාර්තා මහජන පරිශීලනයට ලබා දිය යුතු බවත්, ‘සොනික් සොනික්’ වැනි අන්වර්ථ නාමවලින් හැඳින්වෙන පුද්ගලයන් සහ බුද්ධි අංශ සම්බන්ධතා පිළිබඳව පවතින සැකසහිත කරුණු විමර්ශනය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එමෙන්ම ඊබ්‍රහයිම්ගේ පුතුන්ගේ සම්බන්ධතා මෙන්ම සහරාන්ගේ බිරිඳගේ ප්‍රකාශ පිළිබඳව ද නැවත සොයා බැලිය යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.














