කියුබානු දේශපාලන ක්‍රමයේ වෙනස්කම් සිදු කරන ලෙස බල නොකර හෝ වෙනත් කොන්දේසි පැනවීමකින් තොරව සාකච්ඡා සඳහා එක්වන ලෙස කියුබානු ජනාධිපති මිගෙල් ඩියෙස්-කැනල් (Miguel Diaz-Canel) අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයෙන් ඉල්ලා තිබේ. NBC පුවත් සේවය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කර ඇත.
තම නායකත්වය කියුබානු ජනතාවගේ ජනවරම මත පදනම් වූවක් බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා, දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික අර්බුද විසඳා ගැනීමට විවෘත සංවාදයක අවශ්‍යතාව පෙන්වා දුන්නේය. ට්‍රම්ප් පාලනය කියුබාව කෙරෙහි දැඩි පීඩනයක් එල්ල කරමින් සිටින පසුබිමක, කොන්දේසි විරහිත සාකච්ඡා සඳහා කියුබාව සූදානම් බව ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.














