ලොව පුරා තීරණාත්මක මැතිවරණ රැසක් පැවැත්වෙන මෙම වසරේදී, එළඹෙන ඉරිදා (අප්‍රේල් 12) හංගේරියාවේ සහ පේරු රාජ්‍යයේ පැවැත්වීමට නියමිත මැතිවරණ දෙක කෙරෙහි ජාත්‍යන්තර ආයෝජකයන් සහ මූල්‍ය වෙළඳපොළ දැඩි අවධානයක් යොමු කර තිබේ. හංගේරියාවේ වසර 16ක් පුරා පවතින වික්ටර් ඕර්බන්ගේ පාලනයට මෙතෙක් එල්ල වූ ප්‍රබලතම අභියෝගය මෙම මැතිවරණයේදී දැකගත හැකි අතර, පේරු රාජ්‍යය සිය ආර්ථිකය ස්ථාවර කර ගැනීම සඳහා නව නායකත්වයක් තෝරා ගැනීමට සූදානමින් පසුවේ.
හංගේරියාවේ වත්මන් අග්‍රාමාත්‍ය වික්ටර් ඕර්බන් (Viktor Orban) හට පීටර් මැග්යාර් (Péter Magyar) නායකත්වය දෙන ‘Tisza’ පක්ෂයෙන් දැඩි තරඟයක් එල්ල වී ඇත. මෑතකාලීන මත විමසුම්වලට අනුව Tisza පක්ෂය ඕර්බන්ගේ Fidesz පක්ෂයට වඩා මඳක් ඉදිරියෙන් සිටින බව පෙනී යයි. පීටර් මැග්යාර් ජයග්‍රහණය කළහොත්, ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රමිතීන් පිළිබඳ ගැටලු නිසා යුරෝපා සංගමය විසින් අත්හිටුවා ඇති යුරෝ බිලියන 18 ක (ඩොලර් බිලියන 21) ආධාර ලබා ගැනීමට මග පෑදෙනු ඇතැයි ආයෝජකයෝ අපේක්ෂා කරති. ගෝල්ඩ්මන් සැක්ස් (Goldman Sachs) ආර්ථික විද්‍යාඥයින් පවසන්නේ එවැනි ජයග්‍රහණයක් හංගේරියානු වත්කම්වල වටිනාකම සැළකිය යුතු ලෙස ඉහළ නැංවීමට හේතු වනු ඇති බවයි.
මේ අතර, පේරු රාජ්‍යය ද සිය මීළඟ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට සූදානම් වන අතර එහිදී අපේක්ෂකයන් 35 දෙනෙකු තරඟ වැදීම විශේෂත්වයකි. දැනට කෙයිකෝ ෆුජිමෝරි (Keiko Fujimori) මත විමසුම්වල පෙරමුණේ සිටියද, ඡන්දදායකයන්ගෙන් තුනෙන් එකක් තවමත් ස්ථිර තීරණයකට එළඹ නැත. ඉහළ යන උද්ධමනය සහ රටේ ආරක්ෂාව මැතිවරණයේ ප්‍රධානතම මාතෘකා බවට පත්ව තිබේ. කිසිදු අපේක්ෂකයෙකුට 50% ක මනාප ලබා ගැනීමට නොහැකි වනු ඇතැයි අපේක්ෂා කෙරෙන බැවින්, පේරු ජනාධිපතිවරණය දෙවැනි වටයක් දක්වා දීර්ඝ වීමේ වැඩි සම්භාවිතාවක් පවතී.














