දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩය යටතේ සෘතුමය රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිටත් කර යැවීමේ වැඩසටහන ලබන අඟහරුවාදා (14) සිට යළි ආරම්භ කිරීමට රජය පියවර ගෙන තිබේ. විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර මහතා සඳහන් කළේ මීට පෙර පැවති අක්‍රමවත් සහ නීති විරෝධී පත්වීම් හේතුවෙන් බොහෝ දෙනෙකුට මෙම අවස්ථා අහිමි වී තිබූ අතර රජයේ සෘජු මැදිහත්වීම මත නව ගිවිසුම් යටතේ මෙම වැඩසටහන යළි ක්‍රියාත්මක කරන බවයි.
මෙම නියමු ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ තරුණයින් 16 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දකුණු කොරියාවේ යොන්ග්වෝල් ප්‍රදේශයේ කෘෂිකාර්මික අංශයේ රැකියා සඳහා පිටත්ව යාමට නියමිතව ඇත. දැනට ශ්‍රී ලාංකිකයින් දකුණු කොරියාවේ E-9, E-7 සහ E-8 යන වීසා කාණ්ඩ යටතේ රැකියා වල නිරත වන අතර මෙම නව කණ්ඩායමට හිමිව ඇත්තේ මාස අටක කාලසීමාවක් සඳහා වූ සෘතුමය රැකියා අවස්ථාවකි.
තම කොන්ත්‍රාත් කාලය අවසන් වූ පසු අදාළ ශ්‍රමිකයින් අනිවාර්යයෙන්ම නැවත මෙරටට පැමිණිය යුතු බව අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, එසේ නොවීම අනාගතයේදී ශ්‍රී ලාංකිකයින්ට හිමිවන රැකියා අවස්ථා අනතුරේ හෙළීමට හේතු විය හැකි බවට අනතුරු ඇඟවීය. විදේශ රැකියා අවස්ථා තවදුරටත් පුළුල් කිරීම සඳහා රජය මේ වන විටත් විදේශ ආයතන සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














