අප්‍රේල් මාසය සඳහා පිරිපහදු කළ ඉන්ධන නෞකා 12ක් මෙරටට පැමිණීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා මහතා ප්‍රකාශ කරයි. රටට අවශ්‍ය ඉන්ධන සංචිත මේ වන විට කිසිදු හිඟයකින් තොරව පවතින බවත්, ඇණවුම් කරන ලද සියලුම නෞකා නියමිත කාලසටහන් ප්‍රකාරව දිවයිනට ළඟා වනු ඇති බවත් ඔහු තහවුරු කළේය.
මේ අතර, සිංහල සහ දමිළ අලුත් අවුරුදු උත්සව සමය නිමිත්තෙන් අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ලබන 18 වනදා දක්වා පෙට්‍රල් භාවිත කරන වාහන සඳහා QR කේතයකින් තොරව ඉන්ධන ලබා දීමට තීරණය කර ඇත. කෙසේ වෙතත්, ඉන්ධන පිරවුම්හල් අසල තදබදය පාලනය කිරීම සඳහා දැනට ක්‍රියාත්මක වන වාහන අංක තහඩුවේ ඔත්තේ සහ ඉරට්ටේ ක්‍රමවේදය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














