ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ මේ මස අගදී පැවැත්වීමට නියමිත ප්‍රාන්ත මැතිවරණයට පෙර ක්‍රියාත්මක කළ විශේෂ දැඩි නාමලේඛන ප්‍රතිශෝධනය (SIR) යටතේ ඡන්දදායකයින් මිලියන නවයකගේ (ලක්ෂ 90 කගේ) නම් ඡන්ද ලැයිස්තුවෙන් ඉවත් කර තිබේ. මෙය සමස්ත ඡන්දදායකයින්ගෙන් 12% ක ප්‍රතිශතයකි. මෙලෙස ඉවත් කළ පිරිස අතරින් මිලියන 2.7 කගේ ඡන්ද අයිතිය පිළිබඳ අවසන් තීරණය මෙතෙක් ගෙන නොමැති අතර ඔවුන්ගේ ගැටලු විසඳීම සඳහා විශේෂ විනිශ්චය සභා පිහිටුවීමට ඉන්දීය මැතිවරණ කොමිසම කටයුතු කර ඇත.
ඉවත් කරන ලද ඡන්දදායකයින් අතරින් 65% ක් පමණ මුස්ලිම් ජාතිකයන් වන අතර හින්දු භක්තිකයන් ද විශාල පිරිසකට සිය ඡන්ද අයිතිය අහිමි වී තිබේ. බංග්ලාදේශ දේශ සීමාව ආසන්නයේ පවතින දිස්ත්‍රික්කවල මෙම ඉවත් කිරීම් බහුලව සිදුව ඇති අතර මෙය “නීතිවිරෝධී බංග්ලාදේශ සංක්‍රමණිකයන්” හඳුනා ගැනීමේ පියවරක් බව භාරතීය ජනතා පක්ෂය (BJP) පවසයි. කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂය වන තෘණමූල් කොංග්‍රසය (TMC) චෝදනා කරන්නේ මෙය මැතිවරණ ජයග්‍රහණය සඳහා සුළුතර ප්‍රජාව ඉලක්ක කර ගනිමින් සිදු කළ දේශපාලන කුමන්ත්‍රණයක් බවයි.
ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) දින මෙම ඡන්ද හිමිකම් අත්හිටුවා ඇති මිලියන 2.7 කගේ පෙත්සම් විභාගයට ගැනීමට නියමිතය. මැතිවරණය අප්‍රේල් 23 සහ 29 යන දිනවල පැවැත්වීමට නියමිත බැවින් මෙම කෙටි කාලය තුළ සිය ඡන්ද අයිතිය යළි ලබා ගැනීමට හැකි වේදැයි ජනතාව තුළ දැඩි සැකයක් මතුව පවතී. හිටපු හමුදා තාක්ෂණ ශිල්පියෙකු වන මුහම්මද් දාවුද් අලි වැනි පුද්ගලයින් ද සිය ඡන්ද අයිතිය අහිමි වීම පිළිබඳව දැඩි කනස්සල්ල පළ කර ඇත.














