ශ්‍රී ලංකා යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට 2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියට සහභාගී වීම සඳහා අවශ්‍ය අවසරය (NOC) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලබා දී තිබේ. T20 ලෝක කුසලාන තරගාවලියේදී පාදයේ මස්පිඩු ආබාධයකට ලක්ව සිටි ඔහු, මේ වන විට අනිවාර්ය යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වී සිටීම විශේෂත්වයකි.
මෙවර IPL වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 18කට කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) කණ්ඩායම විසින් මිලදී ගත් මතීෂ, අප්‍රේල් 17 වනදා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතය. දැනට ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවන KKR කණ්ඩායමට ඔහුගේ පැමිණීම දැවැන්ත ශක්තියක් වනු ඇත. ඔහු බොහෝ දුරට අප්‍රේල් 19 වනදා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේදී ක්‍රීඩා පිටියට පිවිසෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
වනිඳු හසරංගට ආබාධ තත්ත්වයක් හේතුවෙන් මෙවර IPL තරගාවලිය අහිමි වී ඇති පසුබිමක, මතීෂ පතිරණ සුවය ලබා නැවත පිටියට පිවිසීම ශ්‍රී ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට සතුටට කරුණකි.














