හංගේරියානු අගමැති වික්ටර් ඕර්බන් ලැබූ පරාජය යුක්රේනය විසින් දැඩි සහනයකින් යුතුව පිළිගෙන තිබේ. රුසියාව සමඟ පවතින යුද්ධය සඳහා යුක්රේනයට අත්‍යවශ්‍යව පවතින යුරෝ බිලියන 90ක (ඩොලර් බිලියන 105) යුරෝපා සංගම් ණය මුදල ලබා ගැනීමට පනවා තිබූ නිෂේධ බලය (Veto) මෙලෙස ඕර්බන්ගේ ඉවත්වීමත් සමඟ ඉවත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඕර්බන් මීට පෙර රුසියානු ජනාධිපති පුටින් සමඟ සමීප සබඳතා පවත්වමින් යුක්රේනයට සහාය දීම සඳහා බ්‍රසල්ස් පාලනය ගත් උත්සාහයන් දිගින් දිගටම අඩපණ කළේය.
කෙසේ වෙතත්, මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ පීටර් මාගියාර් (Péter Magyar) යුක්රේනයේ දැඩි මිත්‍රයෙකු ලෙස හඳුන්වා දිය නොහැකි බව විශ්ලේෂකයෝ පවසති. ඔහු සිය පළමු මාධ්‍ය හමුවේදී රුසියාව හමුවේ යුක්රේනය වින්දිතයෙකු බව පිළිගත්ත ද, මොස්කව් පාලනය සමඟ “ප්‍රායෝගික” සබඳතා පවත්වාගෙන යන බව සඳහන් කළේය. එසේම, යුක්රේනය සමඟ සබඳතා යථා තත්ත්වයට පත් කිරීමේදී බටහිර යුක්රේනයේ වසන හංගේරියානු සුළුතර ජනවාර්ගිකයන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කළේය.
පීටර් මාගියාර්ගේ ටිසා (Tisza) පක්ෂය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අතිබහුතර බලයක් ලබාගැනීමත් සමඟ, පුටින් සතු වූ යුරෝපයේ ප්‍රධානතම මිත්‍රයා අහිමි වී ඇති බව යුක්රේන මන්ත්‍රීවරුන් පවසයි. මෙම දේශපාලන පෙරළිය යුක්රේනයේ යුරෝපා සංගම් සාමාජිකත්ව සිහිනයට සහ යුද ආධාර ක්‍රියාවලියට නව බලාපොරොත්තුවක් එක් කර ඇත.













