ඉරාන වරායන් ඉලක්ක කරගනිමින් ඇමෙරිකාව පැනවූ නාවික අවහිරතාවය (Naval blockade) ක්‍රියාත්මක වෙමින් පවතින පසුබිමක, චීන ආරක්ෂක අමාත්‍ය ඇඩ්මිරල් ඩොං ජුන් (Dong Jun) වොෂින්ටනය වෙත සෘජු හා දැඩි අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ. චීනය ලෝක සාමය සහ ස්ථාවරත්වය වෙනුවෙන් පෙනී සිටින බවත්, මැදපෙරදිග පවතින තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන බවත් ඔහු අවධාරණය කළේය.
“අපගේ නෞකා හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නිදහසේ ගමන් කරමින් පවතිනවා. ඉරානය සමඟ අප සතුව වෙළඳ සහ බලශක්ති ගිවිසුම් පවතින අතර, අපි ඒවාට ගරු කරනවා. අපගේ අභ්‍යන්තර කටයුතුවලට අන් අය මැදිහත් නොවිය යුතුයි,” යනුවෙන් ඇඩ්මිරල් ඩොං ජුන් ප්‍රකාශ කර ඇත. හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය සතු බවත්, එය චීනය වෙනුවෙන් විවෘතව පවතින බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් සිහිපත් කළේය.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය යටතේ ක්‍රියාත්මක වන මෙම නාවික අවහිරතාවය බිඳ දැමීමට චීනය සූදානම් බව මෙම ප්‍රකාශයෙන් වක්‍රව කියවේ. ඉරානය සහ චීනය අතර පවතින මෙම සමීප මිලිටරි සහ ආර්ථික සබඳතාව මැදපෙරදිග කලාපයේ බල අරගලය තවදුරටත් උග්‍ර කිරීමට හේතු වී තිබේ. ඉදිරි දින කිහිපය තුළ හෝමුස් සමුද්‍ර සන්ධිය තුළ ඇමෙරිකානු සහ චීන නාවික හමුදා මුහුණට මුහුණ හමුවීමේ (Standoff) දැඩි අවදානමක් පවතින බව ආරක්ෂක විචාරකයෝ අනතුරු අඟවති.
තොරතුරු උපුටා ගැනීම: Al jazeera (x) ඇසුරින්














