පවතින ගැටුම් සඳහා කිසිදු හමුදාමය විසඳුමක් නොමැති බවත් සතුරුකම් නැවත ආරම්භ වීම වැළැක්වීමට පියවර ගන්නා ලෙසත් රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් (Sergei Lavrov) ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චිට (Abbas Araghchi) දැනුම් දී තිබේ. දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතර පැවැති විශේෂ සාකච්ඡාවකදී ලැව්රොව් මහතා මේ බව අවධාරණය කර ඇති අතර පවතින අර්බුදය විසඳීම සඳහා සහාය වීමට රුසියාව සූදානම් බව ද මෙහිදී සහතික විය.
රුසියානු විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයකට අනුව ඉකුත් සති අන්තයේ පකිස්ථානයේදී පැවැති ඇමෙරිකා-ඉරාන සාකච්ඡා පිළිබඳ විස්තර ද අරග්චි මහතා විසින් රුසියානු විදේශ අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇත. රුසියාව සහ ඉරානය සමීප මිත්‍ර රටවල් වන අතර 2025 වසරේදී දෙරට අතර ‘සමස්ත උපායමාර්ගික හවුල්කාරිත්වය පිළිබඳ ඉරාන-රුසියානු ගිවිසුම’ අත්සන් කරනු ලැබූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.














