සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටින්නේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” සැමට උරුම කර දීම වෙනුවෙන් සියලු දෙනා සහෝදරත්වයෙන් අත්වැල් බැඳගත යුතු බවයි. භෞතික මෙන්ම ආධ්‍යාත්මික අලුත් වීමක් අපේක්ෂා කරන මෙම ප්‍රධාන සංස්කෘතික උත්සවය, ශ්‍රී ලාංකික අනන්‍යතාව සහ ප්‍රජාවන් අතර පවතින සමාජ-සංස්කෘතික බැඳීම ලොවට විදහා දක්වන්නක් බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙරට අනාගත සංවර්ධන මාවත තීරණය වන්නේ රටේ පවතින අගනා සංස්කෘතිය සහ ඓතිහාසික උරුමය මත පදනම්ව බවත්, රජයේ සියලු සංවර්ධන සැලසුම් එම පදනම මත සකස් කර ඇති බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. අලුත් අවුරුදු චාරිත්‍රවලින් නිරූපණය වන සාමුහිකත්වය සහ සහකම්පනය වැනි උතුම් ගුණාංග උත්සව දිනවලට පමණක් සීමා නොකර මුළු වසර පුරාම තම ජීවිතවලට අනුගත කර ගන්නා ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
පසුගිය වසරේ මුහුණ දුන් ස්වභාවික ව්‍යසන සහ මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ ඇති වූ ගෝලීය අභියෝග කළමනාකරණය කිරීමට රජය නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බව පණිවිඩය මගින් වැඩිදුරටත් සඳහන් විය. දිනාගත් ජයග්‍රහණ ශක්තිමත් කරමින්, අභියෝග හමුවේ නොසැලී ඉදිරියට ගොස් සෞභාග්‍යමත් දේශයක් ගොඩනැඟීමට එක්වන ලෙස ආරාධනා කරමින් ජනාධිපතිවරයා සියලුම ජනතාවට සාමය සහ සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කර සිටියි.














