ලෙබනනය සහ ඉශ්‍රායලය අතර පවතින දරුණු ගැටුම් නිමා කිරීමේ අරමුණින් වොෂින්ටන් නුවර පැවැත්වෙන විශේෂ සාකච්ඡා වටය සඳහා ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සහභාගී වන බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ. අද (අඟහරුවාදා) දින ඇමරිකානු වේලාවෙන් පෙවරු 11:30 ට ආරම්භ වීමට නියමිත මෙම සාකච්ඡාව සඳහා වොෂින්ටන්හි ඉශ්‍රායල තානාපති යෙචියෙල් ලයිටර් සහ ලෙබනන තානාපති නාඩා හමාඩේ මෝවාඩ් යන මහත්ම මහත්මීන් එක්වීමට නියමිතය.
දකුණු ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ඉශ්‍රායලය එල්ල කරන ප්‍රහාර හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 2,000කට අධික පිරිසක් මියගොස් තවත් 6,500කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ලක්ෂ සංඛ්‍යාත සිවිල් වැසියන්ට උන්හිටිතැන් අහිමි කර ඇති මෙම දරුණු ගැටුම් සමනය කිරීම රාජ්‍ය ලේකම්වරයාගේ ප්‍රධාන අරමුණයි. කෙසේ වෙතත්, හිස්බුල්ලා නායක නයිම් කාසම් පවසන්නේ ඉශ්‍රායලය සමඟ පවත්වන මෙවැනි සෘජු සාකච්ඡා ප්‍රතික්ෂේප කළ යුතු බවයි. ඉන් අනතුරුව රාජ්‍ය ලේකම් රුබියෝ මහතා ඊජිප්තු විදේශ අමාත්‍ය බද්ර් අබ්දෙලට්ටි සමඟද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇත.














