ලොව සුප්‍රසිද්ධ ‘විස්ඩන්’ (Wisden Almanack) ක්‍රිකට් සඟරාවේ 163 වන සංස්කරණය මගින් මෙවර ඈෂස් තරඟාවලියේදී එංගලන්ත කණ්ඩායම දැක්වූ අසාර්ථක දක්ෂතා සහ ඔවුන්ගේ හැසිරීම දැඩි විවේචනයට ලක් කර තිබේ. එහි කර්තෘ ලෝරන්ස් බූත් විසින් එංගලන්තයේ ඕස්ට්‍රේලියානු සංචාරය හඳුන්වා දී ඇත්තේ කිසිදු පදනමක් නොමැති, අරමුණකින් තොරව සිදුකළ අසාර්ථක සංචාරයක් ලෙසිනි. මෙවර ඈෂස් තරඟාවලියෙන් එංගලන්තය 4-1ක් ලෙස පරාජයට පත් වූ අතර, එය ඔවුන් පිට පිටම ඕස්ට්‍රේලියාවේදී ලැබූ සිව්වන ඈෂස් පරාජය ලෙස සටහන් විය.
තරඟ පිටියේ දැක්වූ දුර්වලතා පමණක් නොව, කණ්ඩායම තුළ පැවති විනය පිරිහීම, මත්පැන් සංස්කෘතිය සහ අවිධිමත් පුහුණුවීම් පිළිබඳව ද විස්ඩන් කර්තෘවරයා සිය සටහන මගින් දැඩිව දෝෂාරෝපණය කර ඇත. විශේෂයෙන්ම, ඈෂස් තරඟාවලියට පෙර නවසීලන්ත සංචාරයේදී හැරී බෲක් රාත්‍රී සමාජ ශාලාවකදී ඇති කරගත් ගැටුමක් ප්‍රසිද්ධියට පත් කිරීමට එංගලන්ත ක්‍රිකට් බලධාරීන් ප්‍රමාද වීම ද මෙහිදී විවේචනයට ලක් කර තිබේ. කණ්ඩායම මෙතරම් විශාල වරප්‍රසාදයක් සහ අවස්ථාවක් ඉතාමත් නොසලකා හරින ලද ආකාරයකින් අපතේ යැවීම කණගාටුදායක කරුණක් බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
මෙවර විස්ඩන් සඟරාව මගින් ප්‍රකාශයට පත් කරන ලද ‘වසරේ ක්‍රීඩකයින් පස්දෙනා’ අතරට කිසිදු එංගලන්ත ජාතික ක්‍රීඩකයෙකු ඇතුළත් නොවීම විශේෂත්වයකි. ඒ වෙනුවට ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැති ටෙස්ට් තරඟාවලියේ දැක්වූ දක්ෂතා වෙනුවෙන් ඉන්දීය ක්‍රීඩකයින් වන ශුබ්මන් ගිල්, රිෂාබ් පාන්ට්, රවීන්ද්‍ර ජඩේජා සහ මොහොමඩ් සිරාජ් යන සිව්දෙනාම මෙම ලැයිස්තුවට ඇතුළත් කර ඇති අතර, අනෙක් ක්‍රීඩකයා ලෙස නොටින්හැම්ෂයර් ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දැක්වූ හසීබ් හමීඩ් නම් කර ඇත.
එසේම, ලොව ප්‍රමුඛතම පිරිමි ක්‍රීඩකයා ලෙස ඕස්ට්‍රේලියාවේ වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් සහ ප්‍රමුඛතම කාන්තා ක්‍රීඩිකාව ලෙස ඉන්දියාවේ තුන් ඉරියව් ක්‍රීඩිකා දීප්ති ෂර්මා නම් කර තිබේ. බෙන් ස්ටෝක්ස් සහ බ්‍රෙන්ඩන් මැකලම් සිය තනතුරුවල දිගටම රැඳී සිටියද, එංගලන්ත ක්‍රිකට් ක්ෂේත්‍රය තුළ මේ වන විට පවතින තත්ත්වය පිළිබඳව විස්ඩන් වාර්තාව හරහා ලොවටම දැඩි පණිවිඩයක් නිකුත් කර ඇත.














