ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය ‘Truth Social’ සමාජ මාධ්‍ය ගිණුමේ පළ කරන ලද, තමන්ව ජේසුස් වහන්සේට සමාන ස්වරූපයකින් නිරූපණය කරන ආන්දෝලනාත්මක AI (කෘතිම බුද්ධි) ඡායාරූපයක් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. මෙම ඡායාරූපයෙහි සුදු වස්ත්‍රයකින් සැරසුණු ට්‍රම්ප්, රෝහල් ඇඳක සිටින රෝගියෙකුගේ නළලට අත තබා සුවපත් කරන ආකාරය දැක්වුණු අතර, එය ආගමික සිතුවම්වලට සමාන වීම හේතුවෙන් ක්‍රිස්තියානි ක්‍රියාකාරීන් ඇතුළු විවිධ පාර්ශ්වයන්ගෙන් දැඩි විවේචන එල්ල විය.
එල්ල වූ විවේචන හමුවේ අදහස් දක්වමින් ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ, තමන් එම ඡායාරූපය පළ කළේ එය තමන් වෛද්‍යවරයෙකු ලෙස නිරූපණය කරන බව සිතා බවයි. “මම හිතුවේ ඒ මම වෛද්‍යවරයෙක් විදිහට රතු කුරුස සංවිධානයේ සේවකයෙක් එක්ක ඉන්නවා කියලා. එයින් අදහස් කළේ මිනිසුන්ව සුවපත් කරන වෛද්‍යවරයෙක්. මම මිනිසුන්ව යහපත් කරනවා,” යැයි ඔහු මාධ්‍යවේදීන්ට පැවසීය. කෙසේ වෙතත්, ජනතාව ඒ පිළිබඳව ව්‍යාකූල වී ඇති බැවින් එය ඉවත් කළ බව ඔහු පසුව තහවුරු කළේය.
මෙම සිද්ධියට පැය කිහිපයකට පෙර, ඉරානයට එරෙහිව ඇමරිකාව ගෙන යන හමුදා ක්‍රියාමාර්ග විවේචනය කළ 14 වන ලියෝ පාප් වහන්සේව ද ජනාධිපති ට්‍රම්ප් දැඩි ලෙස විවේචනය කර තිබුණි. පාප් වහන්සේ විදේශ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දුර්වල බවත්, න්‍යෂ්ටික අවි සහිත ඉරානයක් ඇතිවීම වැළැක්වීමට තමන් ගන්නා උත්සාහය උන්වහන්සේට නොවැටහෙන බවත් ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේය.














