එක්සත් ජනපදය සහ ඉරානය අතර යළිත් සාම සාකච්ඡා ආරම්භ වීමේ සලකුණු පහළ වීමත් සමඟ, ගෝලීය බලශක්ති සැපයුමට එල්ල වී තිබූ බාධා පිළිබඳ බිය පහව ගොස් අද (14) ආසියානු වෙළඳපොළේ බොරතෙල් මිල පහත වැටී තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල 1% කින් පමණ පහළ බැස ඩොලර් 98.40 ක් ලෙස සටහන් වූ අතර, අමෙරිකානු තෙල් මිල 1.7% කින් පහළ බැස ඩොලර් 97.40 ක් දක්වා අඩු විය.
පසුගිය සති අන්තයේ දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡා අසාර්ථක වීමත් සමඟ ජනපති ට්‍රම්ප් විසින් ඉරාන වරායන් අවහිර කිරීමට නියෝග කිරීම හේතුවෙන් තෙල් මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබුණි. කෙසේ වෙතත්, ඉරානය විසින් නව එකඟතාවයක් සඳහා වොෂින්ටනය හා සම්බන්ධ වී ඇති බව ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කිරීමත් සමඟ මෙම මිල පහත වැටීම සිදු විය. ඉරානය වසර පහක කාලයකට යුරේනියම් සාරවත් කිරීම අත්හිටුවීමට යෝජනා කර ඇති බවත්, පාකිස්ථානයේදී පැවැත්වෙන දෙවන වටයේ සාකච්ඡා මගින් සාම ගිවිසුමකට මග පෑදිය හැකි බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන බලශක්ති ප්‍රවාහයට එල්ල වී ඇති බාධා තවමත් සම්පූර්ණයෙන් ඉවත් වී නොමැති වුවද, මෙම රාජ්‍යතාන්ත්‍රික වර්ධනයන් හේතුවෙන් ආසියානු කොටස් වෙළඳපොළවල් ද අද දිනයේ ඉහළ යාමක් පෙන්නුම් කළේය.














