ඇමෙරිකාවේ ඔරිගන් (Oregon) ප්‍රාන්තයේ ට්‍රවුට්ඩේල්හි පිහිටි ඇමේසන් (Amazon) ගබඩා සංකීර්ණයක් (PDX9) තුළ සේවය කරමින් සිටි සේවකයෙකු හදිසියේම ඇද වැටී මියගොස් ඇති බව වාර්තා වේ. වඩාත් ආන්දෝලනයට තුඩු දී ඇත්තේ එම සේවකයා ඇද වැටී සිටියදීත්, ගබඩාව තුළ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව සිදුව ඇති බවට පළවන වාර්තා හේතුවෙනි.
මෙම අවාසනාවන්ත මරණය සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කරමින් ඇමේසන් සමාගම සිය කණගාටුව පළ කර ඇති අතර, මියගිය සේවකයාගේ පවුලේ පිරිසට අවශ්‍ය සහය ලබාදීමට කටයුතු කරන බව පවසා තිබේ. සමාගම පවසන පරිදි, සිදුවීමෙන් පසු එම මුරයේ සේවය කළ සේවකයන්ට වේලාසනින් නිවෙස් බලා යාමට අවසර ලබා දී ඇති අතර එදින රාත්‍රී සේවා මුරය ද අවලංගු කර ඇත. එලෙස සේවය නොකළ කාලය සඳහා ද සේවකයන්ට ගෙවීම් සිදු කළ බව සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
කෙසේ වෙතත්, සේවකයෙකු මියගොස් සිටියදීත් වැඩ කටයුතු නැවැත්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සහ වෘත්තීය සමිති හරහා දැඩි විවේචන එල්ල වෙමින් පවතී. ටෙක් ක්‍රන්ච් (TechCrunch) පුවත් සේවය වාර්තා කරන පරිදි, මෙම සිදුවීම ඇමේසන් වැනි දැවැන්ත ආයතන තුළ සේවකයන්ගේ ආරක්ෂාව සහ මානුෂීය සැලකිල්ල පිළිබඳව නැවත වරක් ප්‍රශ්න කිරීමට මඟ පාදා ඇත.















