ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනාගේ (Diego Maradona) මරණය සම්බන්ධයෙන් ඔහුගේ වෛද්‍ය කණ්ඩායමට එරෙහිව පවරා ඇති නව නඩු විභාගය අද (අප්‍රේල් 14) බුවනෝස් අයර්ස් හිදී ආරම්භ වේ. නොසැලකිලිමත් ලෙස මිනීමැරීම යන චෝදනාව යටතේ මෙම වෛද්‍ය කණ්ඩායමේ සාමාජිකයන් හත් දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති අතර, මීට පෙර පැවති නඩු විභාගය විනිසුරුවරියකගේ නීති විරෝධී හැසිරීමක් හේතුවෙන් අත්හිටුවීමට සිදුවිය.
1986 ලෝක කුසලාන ජයග්‍රාහකයා වූ මැරඩෝනා 2020 නොවැම්බර් 25 වන දින වයස අවුරුදු 60 දී මියගියේ මොළයේ සැත්කමකින් සුවය ලබමින් සිටියදී ඇති වූ හෘදයාබාධයකිනි. ඔහුගේ මරණය සම්බන්ධයෙන් මනෝ වෛද්‍ය අගුස්ටිනා කොසචොව් සහ ස්නායු ශල්‍ය වෛද්‍ය ලියෝපෝල්ඩෝ ලූක් ඇතුළු වෛද්‍යවරුන් සහ හෙද හෙදියන් පිරිසකට මෙම චෝදනා එල්ල වී ඇති නමුත් ඔවුන් සියලු දෙනාම එම චෝදනා ප්‍රතික්ෂේප කරති.
සැන් ඉසිඩ්‍රෝ (San Isidro) අධිකරණයේදී පැවැත්වෙන මෙම නඩු විභාගයේදී සාක්ෂිකරුවන් 100කට ආසන්න පිරිසකගෙන් සාක්ෂි කැඳවීමට නියමිතය. පසුගිය වසරේ මාර්තු මාසයේදී ආරම්භ වූ ප්‍රථම නඩු විභාගය, එහි එක් විනිසුරුවරියක් වාර්තා වැඩසටහනක් සඳහා අධිකරණය තුළදීම සම්මුඛ සාකච්ඡාවකට පෙනී සිටීම හේතුවෙන් අවලංගු කෙරුණු අතර, මෙම නව නඩු විභාගය හරහා මැරඩෝනාගේ මරණයට සැබෑ හේතුව සහ වගකිවයුත්තන් අනාවරණය කර ගැනීමට පාපන්දු ලෝලීන් බලා සිටිති.















