මැරතන් ධාවකයෙකු වූ ඩෙරෙක් වෝල්බෑන්ක් සිය පුහුණුකරු සහ පෝෂණවේදියා ලෙස ChatGPT යොදා ගනිමින් මාස කිහිපයක් තුළ කිලෝග්‍රෑම් 9ක බර අඩු කර ගැනීමටත් සිය දක්ෂතා ඉහළ නංවා ගැනීමටත් සමත් වී තිබේ. පැරිස් මැරතන් තරගය සඳහා සූදානම් වූ ඔහු සිය දෛනික ආහාර වේල, ව්‍යායාම දත්ත සහ ශරීරයේ බර නිරන්තරයෙන් ChatGPT වෙත ලබා දෙමින් මෙම පුහුණුව ලබා ගත්තද මෙම අත්දැකීම හරහා AI පුහුණුකරුවෙකුගේ පවතින සීමාවන් සහ ගැටලු කිහිපයක් ද අනාවරණය විය.
මෙහිදී ප්‍රධාන වශයෙන්ම දත්ත ඇතුළත් කිරීමේ අපහසුව දැඩි ලෙස බලපෑ අතර සෑම ආහාර වේලකම අඩංගු ද්‍රව්‍ය සහ ව්‍යායාම දත්ත දිනකට කිහිප වතාවක් අතින් ඇතුළත් කිරීමට සිදු වීම දැඩි වෙහෙසකාරී කාර්යයක් බවට පත් විය. එසේම මතකය පිළිබඳ ගැටලු ද මතු වූ අතර වෝල්බෑන්ක් එක් දිනක් ප්‍රකාශ කළ “මේ සඳුදා මට ජිම් එකට යන්න වෙලාවක් නැහැ” වැනි කරුණු පසුව සෑම සඳුදා දිනකටම අදාළ පොදු නීතියක් ලෙස ChatGPT වැරදියට වටහා ගෙන තිබුණි. තවද පුහුණුව ආරම්භ වී මාස තුනක් පමණ ගත වන විට ChatGPT විසින් වැරදි පුහුණු උපදෙස් ලබා දීම සහ පරිශීලකයා නියමිත බර ප්‍රමාණයට පැමිණ නොසිටියදීත් ඔහුට ප්‍රශංසා කිරීම වැනි සත්‍යයෙන් තොර තොරතුරු ඉදිරිපත් කරන “මුසා දොඩවන” අවස්ථාවන් ද දක්නට ලැබුණි.
මෙම සිදුවීම මඟින් පැහැදිලි වන්නේ generative AI තාක්ෂණය පුද්ගලික පුහුණු සහය ලබා දීම සඳහා වැදගත් මෙවලමක් විය හැකි වුවද මිනිස් පුහුණුකරුවෙකු සම්පූර්ණයෙන්ම ප්‍රතිස්ථාපනය කිරීමට තරම් එය තවමත් පරිපූර්ණ නොවන බවයි. දිගුකාලීන භාවිතයේදී පවතින මතක දෝෂ සහ වැරදි දත්ත සැපයීම නිසා AI පුහුණුකරුවෙකු භාවිත කිරීමේදී දැඩි විමසිල්ලෙන් සිටිය යුතු බව මෙම පුවත අවධාරණය කරයි.














