මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් බ්‍රිතාන්‍ය ආර්ථිකයට එල්ල විය හැකි දිගුකාලීන බලපෑම් පාලනය කිරීම සඳහා එරට අග්‍රාමාත්‍ය කියර් ස්ටාර්මර් (Keir Starmer) විසින් නව කැබිනට් කමිටුවක් පිහිටුවා තිබේ. “මැදපෙරදිග ප්‍රතිචාර කමිටුව” (Middle East Response Committee) ලෙස නම් කර ඇති මෙහි මංගල රැස්වීම අද (14) අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
යම් නිශ්චිත අර්බුදයක් වෙනුවෙන් මෙලෙස නව කැබිනට් කමිටුවක් පිහිටුවීම බ්‍රිතාන්‍ය දේශපාලන ඉතිහාසයේ ඉතා දුර්ලභ සිදුවීමක් ලෙස සැලකේ. මීට පෙර කොරෝනා වසංගතය සහ බ්‍රෙක්සිට් (Brexit) ක්‍රියාවලිය වැනි දැවැන්ත අර්බුද කළමනාකරණය සඳහා පමණක් මෙවැනි කමිටු පිහිටුවා තිබුණි. මෙම පියවර හරහා බ්‍රිතාන්‍ය රජය අපේක්ෂා කරන්නේ මැදපෙරදිග ගැටුම හේතුවෙන් ඇතිවිය හැකි සැපයුම් දාම බිඳවැටීම් සහ උද්ධමනකාරී තත්ත්වයන්ට සාර්ථකව මුහුණ දීමටයි.














