අයිරිෂ් සංචාරක රක්ෂණ සමාගමක් වන JustCover විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකට අනුව, පෘතුගාලයේ අගනුවර වන ලිස්බන් ලොව වර්ණවත්ම නගරය ලෙස තේරී පත්වී තිබේ. ලොව පුරා විචිත්‍රවත් වර්ණවලින් යුත් ගමනාන්ත 78ක් ආශ්‍රයෙන් ලබාගත් ඡායාරූප විශ්ලේෂණය කිරීමේදී ලිස්බන් නගරයේ ඡායාරූප තුළ වර්ණ මිලියන 2.6කට වඩා වැඩි ප්‍රමාණයක් පවතින බව හඳුනාගෙන ඇත. මෙම ශ්‍රේණිගත කිරීම්වල තෙවන ස්ථානය ද පෘතුගාලයේම පෝර්ටෝ නගරයට හිමිවීම විශේෂත්වයකි.
සමාජ මාධ්‍ය හරහා සංචාරක තොරතුරු සහ ඡායාරූප හුවමාරු කර ගැනීම ප්‍රචලිත වී ඇති වර්තමානයේ, සංචාරක ගමනාන්තයක ඇති දෘශ්‍යමය ආකර්ෂණය සහ වර්ණවත් බව සංචාරකයන්ගේ තේරීම් කෙරෙහි ප්‍රබල ලෙස බලපායි. ලිස්බන් නගරයේ ඇති පැස්ටල් වර්ණ ගැන්වූ ගොඩනැගිලි, ඇල්ෆාමා (Alfama) වැනි ඓතිහාසික ප්‍රදේශවල දක්නට ලැබෙන රටා සහිත ටයිල් (Tiles) සහ නගරයේ පටු වීදි දිගේ ධාවනය වන කහ පැහැති ට්‍රෑම් රථ මෙම වර්ණවත් බවට ප්‍රධානතම හේතු ලෙස මෙම අධ්‍යයනය පෙන්වා දෙයි.














