ඉරාන වරායන් ඉලක්ක කර ගනිමින් අමෙරිකා එක්සත් ජනපදය පනවා ඇති නාවික අවහිරතාව “අතිශය භයානක සහ වගකීම් විරහිත” ක්‍රියාවක් බව පවසමින් චීන විදේශ අමාත්‍යාංශය එය දැඩි ලෙස හෙළා දැක තිබේ. පකිස්ථානයේ පැවැති අමෙරිකා-ඉරාන සාම සාකච්ඡා බිඳ වැටීමෙන් පසු මෙම වරාය අවහිර කිරීම් ක්‍රියාත්මක කර ඇත.
චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ගුඕ ජියාකුන් (Guo Jiakun) පෙන්වා දෙන්නේ, මෙම පියවර හරහා කලාපීය නොසන්සුන්තාව තවදුරටත් උග්‍ර වන අතර දැනට පවතින බිඳවැටෙන සුළු සටන් විරාම ගිවිසුම්වලට ද දැඩි බලපෑම් එල්ල වන බවයි. එමෙන්ම චීනය විසින් ඉරානයට නව ගුවන් ආරක්ෂක පද්ධති ලබා දීමට සූදානම් වන බවට පැතිර යන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද ඔහු අවධාරණය කළේය.
මෙම චෝදනා පදනම් කර ගනිමින් චීන භාණ්ඩ සඳහා 50% ක අතිරේක බදු පනවන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ තර්ජනයට පිළිතුරු දෙමින් ජියාකුන් මහතා පැවසුවේ, අමෙරිකාව එවැනි පියවරක් ගතහොත් චීනය ද ඊට එරෙහිව දැඩි ප්‍රතිප්‍රහාරාත්මක ක්‍රියාමාර්ග ගන්නා බවයි. ඉරානයෙන් විශාල වශයෙන් තෙල් ආනයනය කරන චීනයට මෙම ගැටුම අවසන් වී ජාත්‍යන්තර වෙළඳපොළේ ස්ථාවරත්වය ඇතිවීම අතිශය වැදගත් බව විදේශ විචාරකයෝ පෙන්වා දෙති.














