හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) අවහිර කරමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙන ඇති ක්‍රියාමාර්ගය අත්හැර දමා නැවත සාකච්ඡා ආරම්භ කරන ලෙස සෞදි අරාබිය ඇමෙරිකා එක්සත් ජනපදයට බලකර සිටින බව අරාබි නිලධාරීහු ප්‍රකාශ කරති. ඉරානයේ ආර්ථිකයට දැඩි පීඩනයක් එල්ල කිරීමේ අරමුණින් මෙම අවහිර කිරීම සිදු කළද, ඒ හරහා කලාපීය ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි බවට සෞදි රජය අනතුරු අඟවයි.
විශේෂයෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය වසා තැබීමට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් රතු මුහුදේ පිහිටි බැබ් අල්-මන්ඩෙබ් (Bab al-Mandeb) සමුද්‍ර සන්ධිය ද අවහිර කරනු ඇතැයි සෞදි අරාබිය ඇතුළු අනෙකුත් ගල්ෆ් බලශක්ති අපනයනකරුවෝ බිය පළ කරති. පර්සියානු ගල්ෆ් කලාපයේ සිරවී ඇති තෙල් අපනයනය සඳහා පවතින ප්‍රධානතම විකල්ප මාර්ගය ද මෙලෙස ඇහිරී ගියහොත් එය ගෝලීය බලශක්ති සැපයුමට දරාගත නොහැකි බලපෑමක් එල්ල කරනු ඇතැයි සෞදි රජය පෙන්වා දෙයි.














