ගාසා තීරයේ සිදුවූ වෙන් වෙන් ප්‍රහාර මාලාවකින් කුඩා දරුවන් දෙදෙනෙකු ඇතුළු පලස්තීනුවන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි. ගාසා නගරයේ පොලිස් රථයක් ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරයකින් තුන් හැවිරිදි යාහ්යා අල්-මලාහි (Yahya Al-Malahi) නමැති දරුවා ඇතුළු සිව් දෙනෙකු මියගොස් ඇති අතර තවත් නව දෙනෙකු තුවාල ලබා තිබේ. මීට අමතරව උතුරු ගාසා තීරයේ ජබාලියා ප්‍රදේශයේදී 14 හැවිරිදි අහමඩ් හලාවා (Ahmed Halawa) නමැති දරුවා ද ඊශ්‍රායල වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇත. පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇති කරගත් සටන් විරාම ගිවිසුම මෙම ප්‍රහාරයන් හමුවේ බිඳ වැටීමේ දැඩි තර්ජනයකට ලක්ව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.














