මැදපෙරදිග කලාපයේ පැවති යුධමය වාතාවරණය සමනය වෙමින් පවතින බවට අමෙරිකානු ජනාධිපතිවරයා කළ ප්‍රකාශයත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල වේගයෙන් පහත වැටී තිබේ. ඉරානය සම්බන්ධ ගැටුම් අවසන් වන බවට පළ වූ සුබවාදී පණිවිඩය හේතුවෙන් වෙළඳපොළ තුළ පැවති නොසන්සුන්කාරී බව පහව ගොස් ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ගතවූ පැය 24 තුළ වාර්තා වූ මිල ගණන් දත්තයන්ට අනුව WTI Midland බොරතෙල් බැරලයක මිල ඩොලර් 8.57 කින් (8.38%) පහළ බැස ඇති අතර Murban Crude මිල ඩොලර් 2.48 කින් (2.40%) සහ Mars බොරතෙල් බැරලයක මිල ඩොලර් 1.24 කින් (0.98%) පහත වැටී ඇත.
මෙම මිල පහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ මැදපෙරදිග කලාපය තුළ ක්‍රියාත්මක වන සති දෙකක සටන් විරාමයයි. එමඟින් තෙල් සැපයුම් ජාලයන්ට එල්ල වී තිබූ තර්ජන අවම වී ඇති අතර, ඉරානය සහ අමෙරිකාව අතර ඉදිරි දින කිහිපය තුළ පකිස්ථානයේදී ආරම්භ වීමට නියමිත රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පිළිබඳ විශ්වාසය ද ආයෝජකයින් අතර ඉහළ ගොස් තිබේ. මෙම සාකච්ඡා හරහා ස්ථිර විසඳුමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බැවින් ඉදිරි දිනවලදී ද තෙල් මිල තවදුරටත් ස්ථාවර වනු ඇතැයි පුරෝකථනය කෙරේ.














