රුසියානු හමුදා විසින් ඊයේ (14) රාත්‍රියේ සිට අද (15) අලුයම දක්වා කාලය තුළ යුක්රේනය ඉලක්ක කරගනිමින් ඩ්‍රෝන යානා 300කට අධික සංඛ්‍යාවක් සහ බැලිස්ටික් මිසයිල තුනක් යොදාගෙන දැවැන්ත ගුවන් ප්‍රහාරයක් දියත් කර තිබේ. යුක්රේන ගුවන් හමුදාවට අනුව ඩ්‍රෝන යානා 324ක් සහ මිසයිල 3ක් රුසියාව විසින් එල්ල කර ඇති අතර, ඉන් ඩ්‍රෝන යානා 309ක් සාර්ථකව විනාශ කිරීමට හෝ අක්‍රීය කිරීමට යුක්රේන ආරක්ෂක අංශ සමත්ව ඇත. කෙසේ වෙතත් මිසයිල ප්‍රහාර සහ ඩ්‍රෝන යානා 13ක් ස්ථාන නවයකට පතිත වීමෙන් දකුණුදිග යුක්රේනයේ වරාය යටිතල පහසුකම්වලට දැඩි හානි සිදුව ඇති බව වාර්තා වේ.
මෙම ප්‍රහාරවලින් පුද්ගලයින් හත් දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර ගිනිකොනදිග ඩිනිප්‍රෝ (Dnipro) නගරයේ මහල් නවයකින් යුත් නිවාස සංකීර්ණයක් සහ පරිපාලන ගොඩනැගිල්ලක් දරුණු ලෙස හානියට පත්ව තිබේ. මීට පෙර අඟහරුවාදා දිනයේ එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තවත් 30 දෙනෙකු පමණ තුවාල ලැබූ පසුබිමක මෙම නව ප්‍රහාර මාලාව එල්ල වී ඇත. මධ්‍යම යුක්රේනයේ චර්කාසි (Cherkasy) නගරයට ද ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී ඇති අතර ඉන් සිවුදෙනෙකු තුවාල ලබා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර තිබේ.














