ජෝර්ජියානු රජය විසින් හඳුන්වා දී ඇති නව උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හේතුවෙන් එරට දේශපාලන සහ සමාජීය නොසන්සුන්තාවක් නිර්මාණය වී තිබේ. 2024 වසරේ අගභාගයේ සිට ක්‍රියාත්මක වන රජයට එරෙහි විරෝධතාවල නවතම අදියර ලෙස සිසුන් වීදි බැස සිටින්නේ මෙම ප්‍රතිසංස්කරණ හරහා ඇතැම් විශ්වවිද්‍යාල වසා දැමීමට සිදුවනු ඇති බවට චෝදනා කරමිනි. විශේෂයෙන්ම ‘ජෝර්ජියන් ඩ්‍රීම්’ (Georgian Dream) පාලක පක්ෂය බටහිර ලිබරල් ප්‍රතිපත්තිවලින් බැහැරව රුසියාව සමඟ සමීප සබඳතා පැවැත්වීමට ගන්නා උත්සාහයේ කොටසක් ලෙස මෙම අධ්‍යාපන වෙනස්කම් විවේචකයෝ හඳුන්වති.
දිනෙන් දින උත්සන්න වන මෙම විරෝධතා මධ්‍යයේ වුවද, පෙබරවාරි මාසයේදී සම්මත කරගත් නව පනත මගින් ජෝර්ජියාවේ අධ්‍යාපන ක්‍රමය බටහිර ප්‍රමිතීන්ගෙන් ඈත් කර ඇති බව විචාරකයෝ පවසති. වරෙක යුරෝපා සංගමයේ සාමාජිකත්වය අපේක්ෂාවෙන් සිටි ජෝර්ජියාව, 2022 රුසියානු-යුක්රේන යුද්ධයෙන් පසු ක්‍රමයෙන් බටහිර කලාපයෙන් මිදී මොස්කව් කක්ෂය වෙත ආකර්ෂණය වෙමින් පවතින බව මෙම සිදුවීම් හරහා මනාව පිළිබිඹු වේ.















