පෝරුවදණ්ඩ, බොරලුගොඩ, සල්උයන් කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි ජයලත් තිලක නමැති තිදරු පියෙකු ඉකුත් 11 වනදා රාත්‍රියේ අසල්වැසියෙකු විසින් එල්ල කරන ලද තියුණු ආයුධ ප්‍රහාරයකින් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. පවුලේ ජීවන බර කරට ගෙන කුලී රැකියාවල නිරත වූ ඔහු, සිය බිරිඳ සහ දරුවන් තිදෙනා වෙනුවෙන් කැපවී වැඩ කළ ආදරණීය පියෙකු බව ගම්වාසීන් පවසති.
ඝාතනය සිදුවූ දින රාත්‍රියේ අසල්වැසියෙකුගේ කැඳවීමක් මත ආරවුලක් බැලීමට ගිය අවස්ථාවේදී “කළු අයියා” නමින් හඳුන්වන පුද්ගලයා සමඟ ඇති වූ බහින්බස්වීමක් මෙම ඝාතනයට හේතු වී ඇත. සිය මවට සහ පියාට සැකකරු විසින් සිදු කළ අපහාස කිරීම් පිළිබඳව විමසීමට ගිය අවස්ථාවේදී සැකකරු විසින් පිහියකින් ඇන මෙම අපරාධය සිදු කළ බව මියගිය ජයලත්ගේ 18 හැවිරිදි දියණිය පවසන්නීය.
තුවාල ලැබූ ඔහු වහාම හොරණ රෝහලට ඇතුළත් කළත් ඒ වන විටත් ඔහු මියගොස් සිටි අතර, සිද්ධිය සම්බන්ධයෙන් 31 හැවිරිදි අවිවාහක සැකකරුවෙකු හොරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පානදුර කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් සහ හොරණ මහේස්ත්‍රාත්වරිය විසින් ස්ථානීය පරීක්ෂණ පවත්වා ඇති අතර හොරණ මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.














