ඉස්ලාමීය සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් නයිජීරියානු ගුවන් හමුදාව පසුගිය සෙනසුරාදා එල්ල කළ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 200කට අධික පිරිසක් මිය ගොස් ඇති බවට වාර්තා වන අතර, ඒ පිළිබඳව පූර්ණ ස්වාධීන විමර්ශනයක් පවත්වන ලෙස නයිජීරියානු රජය නියෝග කර තිබේ. මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ ගුබියෝ (Gubio) දිස්ත්‍රික්කයේ පිහිටි ජිලි නමැති ගම්මානයේ වෙළඳපොළක් ඉලක්ක කරගනිමිනි.
නයිජීරියානු තොරතුරු අමාත්‍ය මොහොමඩ් ඉඩ්රිස් (Mohammed Idris) ප්‍රකාශ කළේ, සිවිල් වැසියන්ට සිදු වූ හානිය පිළිබඳව රජය කණගාටුව පළ කරන නමුත්, මෙම ප්‍රහාරය එල්ල කළේ වසර ගණනාවක සිට බෝකෝ හරාම් (Boko Haram) සහ ISWAP වැනි ත්‍රස්ත කණ්ඩායම්වල සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වූ ස්ථිර ත්‍රස්ත ඉලක්කයකට බවයි. මෙය බුද්ධි තොරතුරු මත පදනම් වූ මෙහෙයුමක් මිස අහඹු ප්‍රහාරයක් නොවන බව ද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
කෙසේ වෙතත්, සටන්කාමීන් පාලනය කරන ප්‍රදේශවල පිහිටි වෙළඳපොළවල් වැනි පොදු ස්ථාන ඉලක්ක කිරීමේදී සිවිල් වැසියන් අනතුරට පත්වීමේ වැඩි අවදානමක් පවතින බව මානව හිමිකම් සංවිධාන දිගින් දිගටම අනතුරු අඟවා තිබේ. මෙම ප්‍රහාරය සැලසුම් කළ ආකාරය සහ ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව ඉදිරි විමර්ශනවලදී අවධානය යොමු කිරීමට නියමිතය.














