සුඩානයේ පවතින දරුණු යුද වාතාවරණය පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව අසමත් වී ඇති බවත්, එරටට ආයුධ ගලා ඒම නැවැත්වීමට ඒකාබද්ධ ජාත්‍යන්තර උත්සාහයක් අවශ්‍ය බවත් බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඉවෙට් කූපර් (Yvette Cooper) ප්‍රකාශ කළාය. ජර්මනියේ බර්ලින් නුවර අද (15) පැවැති සුඩානය පිළිබඳ තෙවන ජාත්‍යන්තර සමුළුවට සහභාගී වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
සුඩානයේ ගැටුම් පවතින පාර්ශවයන් වෙත හැකි සෑම ආකාරයකින්ම බලපෑම් කර හදිසි සටන් විරාමයකට එළඹීමට කටයුතු කළ යුතු බවත්, එරට ජනතාවට අත්‍යවශ්‍ය මානුෂීය ආධාර ලබාදීමේ අවශ්‍යතාවත් ඇය මෙහිදී අවධාරණය කළාය. “ජාත්‍යන්තර ප්‍රජාව සුඩාන ජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු වගකීම් මඟහැර ඇති ආකාරය සාකච්ඡා කිරීමට අප මෙලෙස බර්ලින් නුවරට රැස්ව සිටිනවා” යැයි ද ඇය වැඩිදුරටත් පැවසුවාය.













