විදුලි වාහන (EV) බැටරි සහ ජංගම දුරකථන නිෂ්පාදනයට අත්‍යවශ්‍ය වන කොබෝල්ට් (Cobalt) සහ තඹ (Copper) වැනි තීරණාත්මක ඛනිජ සම්පත් කැණීම සම්බන්ධයෙන් ඉන්දියාව සහ සැම්බියාව අතර පැවති සාකච්ඡා මේ වන විට ඇනහිට ඇති බව වාර්තා වේ. නවදිල්ලි නුවර සිට වාර්තා වන පුවත්වලට අනුව, සැම්බියානු රජය විසින් කැණීම් අයිතීන් සම්බන්ධයෙන් නිසි සහතිකයක් ලබා නොදීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව වී තිබේ.
පසුගිය වසරේදී ඉන්දියාවට සැම්බියාවේ වර්ග කිලෝමීටර් 9,000ක භූමි ප්‍රදේශයක් ඛනිජ ගවේෂණය සඳහා වෙන් කර දී තිබුණි. විශේෂයෙන්ම බලශක්ති උත්පාදනය, ඉලෙක්ට්‍රොනික උපකරණ සහ ඉදිකිරීම් ක්ෂේත්‍රය සඳහා අත්‍යවශ්‍ය වන තඹ සහ බැටරි තාක්ෂණයට වැදගත් වන කොබෝල්ට් ලබා ගැනීම ඉන්දියාවේ ප්‍රධාන ඉලක්කය වී ඇත. වේදාන්ත (Vedanta Ltd) වැනි ඉන්දීය සමාගම් ද සැම්බියාවේ පතල් කර්මාන්තය කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන පසුබිමක, මෙම සාකච්ඡා අඩාල වීම ඉන්දියාවේ අනාගත බලශක්ති සහ තාක්ෂණික සැලසුම්වලට යම් බලපෑමක් එල්ල කළ හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














