වසර හතරක් ඇතුළත ලෝකය මුහුණ දෙන දෙවන බලශක්ති කම්පනයත් සමඟ, ආසියානු රටවල් පොසිල ඉන්ධන ආනයනය මත යැපීම නිසා ගෙවීමට සිදුවන අධික පිරිවැය සහ පිරිසිදු බලශක්ති ප්රභවයන්ගේ අවශ්‍යතාවය නැවතත් දැඩිව සාකච්ඡාවට බඳුන් වී තිබේ. ඉරාන යුද්ධය හේතුවෙන් ගෝලීය වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ පකිස්ථානය සහ බංග්ලාදේශය මුහුණ දී සිටින වෙනස් අත්දැකීම් මෙහිදී කැපී පෙනෙන උදාහරණ ලෙස රොයිටර් පුවත් සේවය පෙන්වා දෙයි.
2022 වසරේ යුක්රේන යුද්ධයත් සමඟ ඇති වූ ඉන්ධන මිල ඉහළ යාම සහ විදුලි කප්පාදුවලින් පසුව, පකිස්ථානය තුළ පාරිභෝගිකයින් මූලික කරගත් සූර්ය බලශක්ති (Solar) විප්ලවයක් ඇති වූ අතර, එය වර්තමාන අර්බුදයේදී ඔවුන්ට යම් සහනයක් ලබා දී ඇත. එහෙත් බංග්ලාදේශය සිය විදුලි බලාගාර සඳහා ද්‍රව ස්වභාවික වායු (LNG) ආනයනය කිරීමට දිගුකාලීන ගිවිසුම්වලට එළඹ තිබීම හේතුවෙන්, මේ වන විට ඉහළ යන බලශක්ති පිරිවැය හමුවේ දැඩි පීඩනයකට ලක්ව සිටියි. දියුණු වෙමින් පවතින ආසියානු රටවල් ආනයනික ඉන්ධන මත යැපීම වෙනුවට දේශීය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමු වීමේ වැදගත්කම මෙම ඉරාන යුද වාතාවරණය විසින් නැවතත් තහවුරු කර ඇත.














