මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම සැලකිය යුතු ලෙස පහළ බැස ඇති බව ජලාශ භාර ඉංජිනේරුවරු ප්‍රකාශ කරති. ඊයේ (15) ජල පෝෂක ප්‍රදේශවලට යම් වර්ෂාපතනයක් ලැබුණද, එය ජල මට්ටම ඉහළ නැංවීමට ප්‍රමාණවත් වී නොමැත.
අද (16) උදෑසන වන විට කාසල්රී ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 43.7ක් දක්වාත්, මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට අඩි 49.10ක් දක්වාත් පහළ බැස ඇත. පසුගිය පැය 24 තුළ කාසල්රී ප්‍රදේශයට මිලිමීටර් 48ක සහ මාවුස්සාකැලේ ප්‍රදේශයට මිලිමීටර් 9ක වර්ෂාපතනයක් ලැබී තිබේ.
ජල මට්ටම පහළ යාමත් සමඟ ජලාශ නිර්මාණය කිරීමේදී යට වූ පැරණි ගොඩනැගිලි සහ නටඹුන් රැසක් මේ වන විට මතුවෙමින් පවතී. විශේෂයෙන් කාසල්රී ජලාශයේ දික්ඔය ඇළ කලාපයේ ජලය බැසයාම නිසා විශාල බිම් ප්‍රදේශයක් (දූපතක්) මතුවී ඇති අතර, ප්‍රදේශවාසී තරුණයන් මෙම ස්ථානය අලුත් අවුරුදු සමයේ ක්‍රිකට් තරග පැවැත්වීම සඳහා ක්‍රීඩා පිටියක් ලෙස භාවිතා කරන අයුරු දැකිය හැකිය.
විදුලි උත්පාදනය සඳහා මෙම ජලාශවල ජලය ප්‍රධාන වශයෙන් යොදාගන්නා බැවින්, ජල මට්ටම තවදුරටත් පහළ යාම ඉදිරි විදුලි නිෂ්පාදන කටයුතුවලට බලපෑම් එල්ල කළ හැකි බව බලධාරීහු පෙන්වා දෙති.














