මැදපෙරදිග කලාපයේ පවතින දැඩි යුදමය වාතාවරණය හමුවේ වුවද, 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය සඳහා ඉරාන කණ්ඩායමේ සහභාගීත්වය ස්ථිර බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ (Gianni Infantino) ප්‍රකාශ කර තිබේ. ක්‍රීඩාව දේශපාලනයෙන් බැහැරව පැවතිය යුතු බවත්, එය මිනිසුන් අතර පාලම් තැනීමට යොදාගත යුතු බවත් ඔහු අවධාරණය කරයි.
පසුගිය පෙබරවාරි 28 වැනිදා ඇමෙරිකාව සහ ඉස්රායලය විසින් ඉරානයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පසු එම රට ලෝක කුසලානයට සහභාගී වීම පිළිබඳව දැඩි සැකයක් මතු වී තිබුණි. කෙසේ වෙතත්, CNBC පුවත් සේවය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඉන්ෆැන්ටිනෝ සහතික වූයේ ඉරානය “අනිවාර්යයෙන්ම” තරගාවලියට එක්වන බවයි.
ඉරාන ක්‍රීඩකයන් නියෝජනය කරන්නේ එරට ජනතාව බවත්, ඔවුන් මේ වන විටත් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ඇති බැවින් ඔවුන්ට ක්‍රීඩා කිරීමට අවස්ථාව දිය යුතු බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය. තරගාවලිය ආරම්භ වන විට කලාපය තුළ සාමකාමී වාතාවරණයක් උදාවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
ඇමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව සම සත්කාරකත්වය දරන 2026 ලෝක කුසලාන තරගාවලියට ඉරානය සහභාගී වීම දේශපාලනික වශයෙන් ද තීරණාත්මක සිදුවීමක් වනු ඇතැයි විචාරකයෝ පවසති.













