වසර ගණනාවක දේශපාලන අස්ථාවරත්වයෙන් පසුව, බල්ගේරියාවේ අප්‍රේල් 19 වැනිදා පැවැත්වෙන තීරණාත්මක පාර්ලිමේන්තු මැතිවරණයේදී රුසියාවට හිතවාදී හිටපු ජනාධිපති රූමන් රඩේව් (Rumen Radev) ඉදිරියෙන් සිටින බව නවතම මත විමසුම් පෙන්වා දෙයි. “Progressive Bulgaria” සන්ධානය හරහා ඔහු දූෂණ විරෝධී වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇති අතර, එය එරට ග්‍රාමීය වැසියන් අතර දැඩි අවධානයක් දිනාගෙන තිබේ.
ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් පිරිසකගෙන් සැදුම්ලත් “කතිපයාධිකාරය” (Oligarchy) බිඳ දැමීමට රඩේව් පොරොන්දු වී ඇත. ප්‍රාදේශීය නිලධාරීන්ගේ දූෂිත ක්‍රියා හේතුවෙන් පීඩාවට පත් ගොවීන් සහ වැඩිහිටි ජනතාව ඔහුගේ ප්‍රධාන ඡන්ද පදනම බවට පත්ව තිබේ. හිටපු ප්‍රහාරක යානා නියමුවෙකු වන රඩේව්, ජනතාවට ආරක්ෂාව සහ ස්ථාවරත්වය ලබාදිය හැකි ප්‍රබල නායකයෙකු ලෙස ඔවුන් දකිති.
රූමන් රඩේව්ගේ ජයග්‍රහණය යුරෝපා සංගමය සහ යුක්රේනය සම්බන්ධයෙන් බල්ගේරියාව දරන ස්ථාවරය වෙනස් කිරීමට සමත් වනු ඇතැයි විදේශ දේශපාලන විචාරකයෝ බිය පළ කරති. රුසියාවට හිතවාදී මතයක් දරන ඔහු බලයට පත්වීම නේටෝ (NATO) සංවිධානය තුළ ද යම් බලපෑමක් ඇති කළ හැකිය. කෙසේ වෙතත්, ස්ථාවර රජයක් පිහිටුවීමට ඔහුට තවත් පක්ෂ සමඟ සන්ධානගත වීමට සිදුවන බැවින්, ඔහුගේ අන්තගාමී ප්‍රතිපත්ති යම් ප්‍රමාණයකට මධ්‍යස්ථ වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මිලියන 6.5ක ජනගහනයක් සහිත බල්ගේරියාවේ පසුගිය වසර 5 තුළ පැවැත්වෙන අටවැනි මැතිවරණය මෙයයි. දුර්වල සභාග ආණ්ඩු බිඳ වැටීම හේතුවෙන් ජනතාව ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රමය පිළිබඳව යම් කලකිරීමක පසුවන අතර, රඩේව් එම කලකිරීම සිය දේශපාලන ජයග්‍රහණය සඳහා භාවිතා කරමින් සිටින බව පෙනේ.














