සමාජ මාධ්‍ය භාවිතය නිසා තාරුණ්‍යයේ අවධානය ගිලිහී යාම වැළැක්වීම සඳහා දැඩි පියවර ගැනීමට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් අද (16) තීරණය කළේය. පාසල් සිසුන් අමතමින් ඔහු අවධාරණය කළේ අවුරුදු 15ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය සම්පූර්ණයෙන්ම තහනම් කළ යුතු බවත්, මසකට එක් දිනක් “තිර රහිත දිනයක්” (No Screens Day) ලෙස ප්‍රකාශයට පත් කළ යුතු බවත්ය.
සමාජ මාධ්‍ය නීති විරහිත කැලෑවක් බඳු බවත් එය දරුවන්ගේ අවධානය සොරාගෙන ඇති බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා, දරුවන් යහපත් පුරවැසියන් ලෙස ගොඩනැගීමට නම් මෙම වේගය පාලනය කළ යුතු බව පැවසීය. මසකට වරක් ක්‍රියාත්මක වන “නොබැඳි දිනය” (Offline Day) තුළ දුරකථන පසෙක තබා ශබ්ද නගා කියවීම, නාට්‍ය කලාව හෝ වෙනත් නිර්මාණාත්මක ක්‍රියාකාරකම්වල යෙදීමට ඔහු යෝජනා කළේය.
ඔස්ට්‍රේලියාව පසුගිය වසරේ හඳුන්වා දුන් සමාජ මාධ්‍ය තහනමෙන් පසු ප්‍රංශය ද මෙම මාවතට යොමු වී ඇති අතර, 2026 පාසල් වර්ෂයේ සිට උසස් පාසල් තුළ ජංගම දුරකථන භාවිතය සීමා කිරීමට අදාළ පනත් කෙරෙහි ද අවධානය යොමු වී තිබේ. කෙසේ වෙතත් ඇතැම් සිසුන් පෙන්වා දෙන්නේ මෙවැනි තහංචි තාක්ෂණික උපක්‍රම හරහා මඟහැරීමට ඉඩ ඇති බවයි.














