ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊශ්‍රායලය සහ ලෙබනනය අතර දස දින සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ඊශ්‍රායල රජය තුළ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ. මෙම සටන් විරාම ගිවිසුම පිළිබඳව ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලය (Security Cabinet) නිල වශයෙන් සාකච්ඡා කර අනුමත කිරීමටත් පෙර, ට්‍රම්ප් විසින් සිය ‘TruthSocial’ ගිණුම හරහා එය ප්‍රකාශයට පත් කිරීම මෙම උණුසුම් තත්ත්වයට හේතු වී තිබේ.
i24NEWS වාර්තා කරන පරිදි, ඊශ්‍රායල ආරක්ෂක කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීමටත් පෙර ඊශ්‍රායලය මෙම ගිවිසුමට එකඟ වී ඇති බවට ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශය පිළිබඳව එරට අමාත්‍යවරුන් දැඩි කෝපයකින් පසුවෙති. අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් අද දිනයේ දුරකථන මාර්ගයෙන් කැබිනට් රැස්වීමක් කැඳවා ඇත්තේ ද මෙම ප්‍රකාශය නිකුත් වී අවසන් වූ පසුව වීම විශේෂත්වයකි. එහිදී අමාත්‍යවරුන්ගේ ඡන්ද විමසීමකින් තොරවම සටන් විරාමය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති අතර, මෙවැනි වැදගත් තීරණයක් තමන්ට පෙර මාධ්‍ය හරහා දැන ගැනීමට ලැබීම ගැන බොහෝ ඇමතිවරුන් අග්‍රාමාත්‍යවරයාට සිය විරෝධය පළ කර ඇත.
කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ ඉල්ලීමට එකඟ වෙමින් ඊශ්‍රායල හමුදා දකුණු ලෙබනනයේ සිය වත්මන් ස්ථානවලම රැඳී සිටින අතරතුර මෙම සටන් විරාමය බලාත්මක වනු ඇත. දේශපාලනික වශයෙන් මෙය නෙතන්යාහු රජයට එල්ල වූ දැඩි පීඩනයක් ලෙස සැලකෙන අතර, විපක්ෂ නායකයින් ද පවසා ඇත්තේ මෙය රජයේ පොරොන්දු බිඳවැටීමක් බවයි.
තොරතුරු උපුටා ගැනීම: mario nawfal(X) සහ i24NEWS ඇසුරින්














