ඉරානය සමඟ පවතින සටන් විරාමය ලබන සතියේ අවසන් වීමට නියමිත පසුබිමක, නියෝග ලැබුණහොත් ඉරානයේ බලාගාර සහ බලශක්ති කර්මාන්ත පද්ධතියට ප්‍රහාර එල්ල කිරීමට අමෙරිකානු හමුදාව “සීරුවෙන්” (Locked and Loaded) පසුවන බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) ඊයේ (16) ප්‍රකාශ කළේය.
දැනට ක්‍රියාත්මක වන නාවික අවහිර කිරීම් (Naval Blockade) සටන් විරාම කාලය තුළ සිදුකරන “විනීත” හැසිරීමක් පමණක් බවත්, ඉරානයේ ද්විත්ව භාවිත යටතේ පවතින යටිතල පහසුකම් සහ බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට අවශ්‍ය බුද්ධි තොරතුරු සහ ශක්තිය මේ වන විටත් සපුරා ඇති බවත් ආරක්ෂක ලේකම්වරයා පැවසීය. සාකච්ඡා මේ වන විටත් ක්‍රියාත්මක වුවද, ඉරානය දිගින් දිගටම අකීකරු වන්නේ නම් දැඩි ආර්ථික හා මිලිටරි පීඩනයක් එල්ල කරන බවට ඔහු අනතුරු ඇඟවීය.
පසුගිය සඳුදා සිට ක්‍රියාත්මක වූ මෙම නාවික අවහිර කිරීම් යටතේ, අමෙරිකානු නාවික හමුදාව විසින් ඉරානය දෙසට ගමන් කළ නෞකා 14ක් හරවා යවා ඇත. මේ වන විට අමෙරිකානු යුද නෞකා සහ ගුවන් යානා රැසක් සමඟ 10,000කට අධික සෙබළුන් පිරිසක් මෙම මෙහෙයුම් සඳහා යොදවා තිබේ.














