මිනුවන්ගොඩ පොලිස් වසමට අයත් කොටුගොඩ සහ හපුවලාන ප්‍රදේශවලදී සිදුකළ විශේෂ වැටලීමකදී නීති විරෝධී මත්පැන් සහ ඒවා පෙරීමට යොදාගන්නා ගෝඩා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ දින සිදුකරන ලද මෙම වැටලීමේදී මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය මත්පැන් ජාවාරමක් අනාවරණය කර ගැනීමට හැකිවී ඇත. මෙහිදී අත්අඩංගුවට ගත් ද්‍රව්‍ය අතර නීති විරෝධී මත්පැන් බෝතල් 120කට අධික ප්‍රමාණයක් සහ බැරල් 12ක අසුරා තිබූ ගෝඩා ලීටර් 2100කට වැඩි ප්‍රමාණයක් අන්තර්ගත වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 41 සහ 44 යන වයස්වල පසුවන කොටුගොඩ සහ මරඳගහමුල ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය හඳුනාගෙන තිබේ. ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම නීති විරෝධී මත්පැන් ජාවාරම සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම ක්‍රියාත්මක කර ඇත. සැකකරුවන් සන්තකයේ තිබූ සියලුම මත්පැන් සහ පෙරීමට යොදාගත් උපකරණ පොලිස් භාරයට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය විසින් ඉදිරි විමර්ශන කටයුතු පවත්වාගෙන යනු ලබයි.














