ඉන්දුනීසියාවේ බටහිර කලිමන්තන් (West Kalimantan) පළාතේ සිදුවූ හෙලිකොප්ටර් අනතුරකින් එහි ගමන් ගත් පුද්ගලයන් අට දෙනාම මියගොස් ඇති බව එරට බලධාරීන් අද (17) තහවුරු කළේය. සෝදිසි කිරීමේ කණ්ඩායම් මේ වන විට මියගිය පිරිසගේ සිරුරු සහ සුන්බුන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබේ.
එයාර්බස් H130 (Airbus H130) වර්ගයේ මෙම හෙලිකොප්ටරය ඊයේ (16) උදෑසන මෙලාවි (Melawi) ප්‍රදේශයේ වතුයායකින් ගුවන්ගත වී මිනිත්තු පහකට පසු සබඳතා බිඳ වැටී තිබේ. ඝන වනාන්තරයකින් සහ කඳුකර ප්‍රදේශයකින් සමන්විත ස්ථානයකදී මෙම අනතුර සිදුව ඇති අතර, හෙලිකොප්ටරයේ වලිගය කොටස යැයි සැක කෙරෙන සුන්බුන් සබඳතා බිඳ වැටුණු ස්ථානයේ සිට කිලෝමීටර් 3ක් පමණ බටහිර දෙසින් හමුවී ඇත.
අනතුර සිදුවන අවස්ථාවේදී එහි කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකු සහ මගීන් හය දෙනෙකු සිට ඇත. “මැතිව් එයාර් නුසන්තාරා” (Matthew Air Nusantara) සමාගමට අයත් මෙම හෙලිකොප්ටරය “චිත්‍රා මහකෝටා” (Citra Mahkota) නම් තෙල් තාල වගා සමාගමකට අයත් වත්තකින් ගමන් ආරම්භ කර තිබුණි. අනතුරට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර යුද හමුදාව සහ පොලිසිය එක්ව ගොඩබිම් මාර්ග ඔස්සේ අනතුර සිදුවූ ස්ථානයට ළඟා වීමට උත්සාහ කරමින් සිටියි.














