චිලී රාජ්‍යයේ නව ජනාධිපති ජෝසේ ඇන්ටෝනියෝ කාස්ට් (Jose Antonio Kast) විසින් මැතිවරණ සමයේ ලබා දුන් පොරොන්දුවක් ඉටු කරමින්, සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමේ පළමු ගුවන් මෙහෙයුම බ්‍රහස්පතින්දා (16) ක්‍රියාත්මක කළේය. එරට උතුරුදිග ඉකීකේ (Iquique) නගරයෙන් පිටත්වූ මෙම යානය මඟින් විදේශිකයන් 40 දෙනෙකු බොලිවියාව, කොලොම්බියාව සහ ඉක්වදෝරය බලා පිටුවහල් කර තිබේ.
පිටුවහල් කරන ලද පිරිසෙන් 15 දෙනෙකු සොරකම් සහ මත්ද්‍රව්‍ය වැරදි ඇතුළු අපරාධ සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත පිටුවහල් කර ඇති අතර, ඉතිරි 25 දෙනා පරිපාලනමය ගැටලු (Administrative issues) හේතුවෙන් පිටුවහල් කර ඇත. මාර්තු 11 වැනිදා බලයට පත් වූ නව රජයේ සංක්‍රමණික ප්‍රතිසංස්කරණ සැලැස්මේ කොටසක් ලෙස මෙවැනි මෙහෙයුම් ඉදිරියේදී තවදුරටත් දැඩි කරන බව චිලී බලධාරීහු පවසති.
නීති විරෝධී සංක්‍රමණ සහ ඉහළ යන අපරාධ අනුපාතය අතර සම්බන්ධයක් පවතින බව පවසමින් ජනාධිපති කාස්ට් සිය මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීය. නිසි ලේඛන නොමැතිව එරට රැඳී සිටින විදේශිකයන්ට වහාම පිටත්ව යන ලෙස හෝ පිටුවහල් කිරීමට මුහුණ දෙන ලෙස ඔහු අනතුරු අඟවා තිබේ. බලධාරීන් පවසන පරිදි කාස්ට් ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් පසු මේ දක්වා වෙනිසියුලානු ජාතිකයන් 2,180 දෙනෙකු ස්වේච්ඡාවෙන්ම චිලී රාජ්‍යයෙන් පිටත්ව ගොස් ඇත.


















