ඉන්දීය රජය විසින් නිකුත් කළ යුතු නිල අවසර පත්‍ර ප්‍රමාද වීම හේතුවෙන් එරට බැංකු විසින් විදේශීය සැපයුම්කරුවන්ගෙන් රන් සහ රිදී ඇණවුම් කිරීම තාවකාලිකව නතර කර ඇති බව වෙළෙඳ ආරංචි මාර්ග පවසයි. මේ වන විට රන් ටොන් 5ක් සහ රිදී ටොන් 8ක් පමණ රේගුව හරහා නිදහස් කර ගැනීමට නොහැකිව සිරවී පවතින බව වාර්තා වේ.
ලොව දෙවන විශාලතම රන් පාරිභෝගිකයා සහ විශාලතම රිදී ගැනුම්කරු වන ඉන්දියාව, සිය අවශ්‍යතාවයෙන් අතිමහත් බහුතරයක් සපුරා ගන්නේ ආනයනය මගිනි. එබැවින් මෙම ආනයන නතර වීම ඉන්දියාව තුළ රන් සහ රිදී හිඟයක් ඇති කිරීමට මෙන්ම මිල ඉහළ යාමට ද හේතු විය හැකිය.
කෙසේ වෙතත්, ඉන්දියාවේ මෙම ඉල්ලුම පහත වැටීම ගෝලීය වෙළෙඳපොළේ රන් සහ රිදී මිල කෙරෙහි බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම ආනයන සීමා වීම හරහා ඉන්දියාවේ වෙළෙඳ හිඟය අවම වීමට සහ මේ වසරේ පසුබෑමකට ලක්ව ඇති ඉන්දීය රුපියල ශක්තිමත් වීමට ද මෙය වක්‍රව දායක වනු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති. මෑත කාලීනව ඉන්දීය රුපියල මත පවතින පීඩනය අවම කිරීම සඳහා රජය විවිධ පියවර ගනිමින් සිටින අතර, මෙම ආනයන ප්‍රමාදය ද එහි එක් ප්‍රතිඵලයක් විය හැකි බවට මත පළ වේ.














