හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නැව් ගමනාගමනය සුරක්ෂිත කිරීම සඳහා එහි ඇති බෝම්බ (Mines) ඉවත් කිරීමේ හැකියාව බෙල්ජියම, නෙදර්ලන්තය සහ ප්‍රංශය වැනි යුරෝපා රටවලට පවතින බව ප්‍රංශ සන්නද්ධ බලකා අමාත්‍ය කැතරින් වෝට්‍රින් පවසයි. ප්‍රංශ රූපවාහිනී නාලිකාවක් සමඟ අදහස් දක්වමින් ඇය සඳහන් කළේ, වෙළෙඳ නැව් සඳහා ආරක්ෂිතව සන්ධිය හරහා ගමන් කිරීමට අවශ්‍ය ආරක්ෂක සේවා (Escort services) සැපයීමේ හැකියාව පවතින බවත්, එය කිසිසේත්ම ප්‍රහාරාත්මක ක්‍රියාවක් නොවන බවත්ය.මේ සම්බන්ධයෙන් වන තීරණාත්මක සාකච්ඡාවක් ප්‍රංශය සහ බ්‍රිතාන්‍යයේ මූලිකත්වයෙන් රටවල් 40ක සහභාගීත්වයෙන් අද පැරිස් නුවරදී පැවැත්වීමට නියමිතය. මෙමගින් අමෙරිකා එක්සත් ජනපදය වෙත සංඥාවක් නිකුත් කිරීමට අපේක්ෂා කරන අතර, හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික නිදහස යළි තහවුරු කිරීමට සිය මිත්‍ර රටවල් සූදානම් බව පෙන්වා දීම මෙහි අරමුණයි. සාමාන්‍ය තත්ත්වයන් යටතේ ලෝකයේ තෙල් සහ ස්වභාවික වායු (LNG) සැපයුමෙන් සියයට විස්සක (20%) ප්‍රමාණයක් ප්‍රවාහනය කරනු ලබන්නේ මෙම වැදගත් මුහුදු මාර්ගය හරහාය.














